ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුණත් තැනින් තැන විවිධ දේශගුණික කලාප පිහිටා තිබෙනවා. නිල්වන් තුරු වලින් ගැවසී ගත් සිංහරාජයේත්, කටු පඳුරු හා ලඳු කැලෑ ඇති ශුෂ්ක දේශගුණයක් සහිත හම්බන්තොටත් පවතින්නේ එකිනෙකට හාත්පසින් වෙනස් දේශගුණයක්. ශ්‍රී ලංකාවේ ශීතලම ප්‍රදේශය නුවරඑළිය ලෙසත් වියළිම ප්‍රදේශය මන්නාරම ලෙසත් සාමාන්‍යයෙන් පිළිගැනීමක් තිබෙනවා.
කොයි තරම් සාපේක්ෂ වෙනසක් තිබුණත් සමස්ථයක් වශයෙන් ශ්‍රී ලංකාව ගැනෙන්නේ ඝර්ම කලාපීය දූපතක් හැටියටයි. මේ නිසා සියළු දේශගුණික වෙනස් වීම් ඇත්තේ යම් සීමාවකට යටත්වයි. කොටින්ම කාන්තාර හෝ තුන්ද්‍රා සහිත හිම පතනය වන දේශගුණික කලාප මේ රට තුල නැහැ. නමුත් මුළු ලෝකය ගැනම සළකා බලන විටනම් විවිධ ස්ථාන වලට බලපවත්වන දේශගුණයේ සාපේක්ෂ වෙනසකම් ඇත්තෙන්ම පුදුම සහගතයි. සමහර ‘අති විශේෂ’ දේශගුණ ඇති ස්ථාන සැළකීමේදී ඒවා එකම ග්‍රහලොවක පිහිටා ඇති ස්ථාන දැයි පවා සිතෙනවා.
ලොව ශීතලම ස්ථානය – වොස්ටොක් මධ්‍යස්ථානය
නැඟෙනහිර ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු මත පිහිටා ඇති වොස්ටොක් මධ්‍යස්ථානය ලොව ශීතලම ස්ථානය ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් වසරේ කිසිම දිනෙක ජලය මිදෙන උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 0ට වඩා උෂ්ණත්වය වැඩි නොවන මෙහි ලොව එදා මෙදා තුර ස්වභාවික පරිසරයක වාර්තා වූ පහළම උෂ්ණත්වය වාර්තා වී තිබෙනවා. 1983 වසරේ දිනෙක මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 89.2 (-89.2) දක්වා පහළ ගියා. (1)
ලොව වැඩිම වර්ෂාව ලැබෙන චෙරාපුංජි හා මව්සින්රාම්
ඉන්දියවේ මේඝාලයා හි ඛාසි කඳු බෑවුම් වල පිහිටි චෙරාපුංජි නගරය මෙතෙක් වර්ෂයක වාර්තා වූ වැඩිම වර්ෂාපතනයට හිමිකම් කියනවා. ක්‍රි.ව 1974 දී මේ නගරයට මිලිමීටර 24,555 ක වර්ෂාවක් පතිත වී තිබුණු අතර 1861 ජූලි මාසයේ පමණක් මිලි මීටර 9300ක පමණ වර්ෂාවක් වැටී තිබෙනවා. මේ අසළ ඇති මව්සින්රාම් නම් කුඩා ගම්මානයේ වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර 11,873 ක්. මේ අගයන් ශ්‍රී ලංකවේ කොළඹට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය වන මිලිමීටර 2348 සමඟ සසඳා බලන්න. (2)
ලොව උණුසුම්ම ස්ථානය – මරණයේ මිටියාවත
ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයට අයත්ව පිහිටි මරණයේ මිටියාවත විශේෂිත භූ ලක්ෂණ වලින් සමන්විත වෙනවා. සාගරයේ සිට සැතපුම් 250ක් රට තුලට වන්නට පිහිටි මෙය කඳු වළල්ලකින් වට වී තිබෙනවා. මේ ස්ථානයෙහි ලොව එතෙක් මෙතෙක් ස්වභාවික පරිසරයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබෙනවා. ක්‍රි.ව. 1913 වසරේ දිනයක මෙහි උපරිම උෂ්ණත්වය දැක්වුණේ සෙල්සියස් අංශක 56.6ක් ලෙසයි. (1)
උණුසුම්ම භූමිය සහිත ගැන්ඩොම් බෙර්යාන්
ලෝකයේ උණුසුම්ම ස්ථානය ලෙස මරණයේ මිටියාවත නම් වෙද්දී ලෝකයේ උණුසුම්ම භූමියට හිමිකම් කියන්නේ ඉරානයේ කෙර්මාන් පළාතට අයත්, ලුට් කාන්තාරයේ පවතින ගැන්ඩොම් බෙර්යාන් නම් ස්ථානයේයි. නාසා ආයතනය විසින් චන්ද්‍රිකා දත්ත උපයෝගී කරගෙන නිකුත් කළ වාර්තාවක දැක්වෙන පරිදි මෙම ස්ථානයේ පසෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 71 දක්වා ඉහළ නැඟෙනවා. (2)
ලොව ව්‍යවහාරික වියළිම ස්ථානය
ලොව වියළිම ස්ථානය සංඛ්‍යාත්මකව බැලු විට ඇන්ටාක්ටිකාවේ පිහිටා තිබුණත් එයට හේතුව එහි අධික ශීතල නිසා ජල වාෂ්ප අයිස් බවට පත් වීමයි. ජලය ද්‍රව වශයෙන් පවතින පරිසර උෂ්ණත්වයක් පවතින ප්‍රදේශ වලින් වියළිම ස්ථානය ලෙස සැළකෙන්නේ අටකාමා කතරයි. කිලෝමීටර 1000ක් පමණ දිග සිහින් තීරුවක් මෙන් දකුණු ඇමෙරිකාවේ බටහිර වෙරළට සමාන්තරව විහිදී ඇති මෙයට මෑත අතීතයේ වර්ෂාවක් පතිත වී ඇත්තේ සිව් වරක් පමණයි. මේ නිසා මෙම ස්ථානය නාසා ආයතනය විවිධ පරීක්ෂණ පැවැත්වීමට භාවිතා කරනවා. විශේෂයෙන්ම මෙහි පස අඟහරුගේ පසට සමාන ලක්ෂණ පෙන්නුම් කරනවා. (1)
ලොව වේගවත්ම සුළං හමන කොමන්වෙල්ත් බොක්ක
ඇන්ටාක්ටිකාවේ පිහිටා ඇති ඩෙනිසන් තුඩුව හා කොමන්වෙල්ත් බොක්ක අවට ප්‍රදේශයේ සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ක් වෙනවා. මෙය තත්පරයට මීටර 22ක වේගයක් වන අතර කාලගුණ විද්‍යාඥයින් පවසන අන්දමට මාරුතයක් වශයෙන් සුළං හැමීමක් හැඳින්වීමට එයට පැයට කිලෝමීටර 24.5ක් හෝ ඊට වැඩි වේගයක් තිබිය යුතු අතර ඒ අනුව මෙහි නිරන්තරයෙන් චණ්ඩ මාරුතයක බඳු සුළං හමනවා. මෙහි සුළඟේ වේගය උපරිම වශයෙන් පැ.කි.මී 320 දක්වා වැඩි වන අවස්ථාත් තිබෙනවා. (2)
ලොව වැඩියෙන්ම වැලි කුණාටු හමන මර්කන්සු නිම්නය
පාමීර් කඳු ආශ්‍රිතව පිහිටා ඇති, තජිකිස්ථානයට අයත් මර්කන්සු නිම්නය අවට ඉතාම සුලභ ලෙස වැලි කුණාටු ඇති වෙනවා. සාමාන්‍යයෙන් දවසේ අපර භාගයේදී ඇති වෙන තදබල සුළං තත්ත්ව සමඟ මෙහි ඇති වැලි මුසු වී කුණාටු හා ටොනේඩෝ තත්ව ඇති කරනවා. මේවා කොයි තරම් ප්‍රබල හා භයානකද යත් භාණ්ඩ පටවන ලද ඔටුවන් පවා මේ සුළං වලට මුසු වී ඉහළට ගසා ගෙන ගිය සිද්ධීන් වාර්තා වෙනවා. පැරැන්නන් විශ්වාස කළේ මේ වැලි කුණාටු හා ටොනේඩෝ යනු භයානක මියගිය ආත්ම ලෙසයි. (2)
මිනිස් වාසයක් සහිත ලොව ශීතලම ප්‍රදේශය -ඔයැම්ප්කොන්
රුසියාවේ පිහිටා ඇති ඔයැම්ප්කොන් මිනිස් වාසයක් සහිත ලොව ශීතලම පෙදෙසයි. මෙහි වාර්තා වී ඇති අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 71.2 ක්. මෙය මුහුදු මට්ටමින් මීටර 750ක උසින් පිහිටා ඇති අතර මිනිසුන් 500ක් පමණ වෙසෙනවා. මෙහි දිවා කාලය පැය 3 සිට 21 දක්වා වාර්ෂිකව වෙනස් වෙනවා.(1)
ලොව වැඩිපුරම අම්ල වැසි වසින පොආස් ගිණිකන්ද හා ‘ලගූනා කැලියන්තේ’
කොස්ටාරිකාවේ අලජුවේලා හි පිහිටා ඇති පොආස් ගිණි කන්දට අයත් අම්ල විල අවට පරිසරයේ ජල වාෂ්ප වල ආම්ලික බව ඉතාම වැඩියි. මෙහි ඇතිවන මීදුමේ හා වර්ෂා වල පී.එච් අගය සමහර විටෙක 2 හෝ ඊටත් වඩා අඩු අගයක් ගන්නට පුළුවන්. මේ නිසා මේ විල අවට කිලෝමීටර 3.5ක් දිග හා කිලෝමීටරයක් පළල ප්‍රදේශයක හරිහමන් ගහ කොළක් වත් වැඩෙන්නේ නැහැ.
මේ විලෙහි හා අවට වාතයේ ආම්ලික බවෙන් ඇති වන බලපෑම පෙර කී නිසරු බිම් කඩටත් එහා පැතිරෙනවා. මේ පෙදෙසේ ජීවත් වෙන මිනිසුන්ගේ ගොවි උපකරණ, විදුලි උපකරණ, වාහන වැනි දෑ වල ඉක්මණින්ම මල බැඳෙනවා. මෙහි මීදුම සහිතවූ විට සමහර සංවේදී සංචාරකයින්ගේ දෑස් වලට කඳුළලි නැඟෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා.
(උපුටා ගැනීමකි)
No comments:
Post a Comment