මනමාලිගෙ පල්ලම’ අපට මේ නම අසන්නට ලැබුණේ පසුගිය දිනක බී 146 දරණ ඌරාපොළ – කිරිඳිවැල – හංවැල්ල මාර්ගය ඔස්සේ එමින් සිටියදී අතරමඟදී හමුවන රතඹලේ ප්‍රදේශයේ ගැමියෙකුගෙනි.
“ඔය මනමාලිගෙ පල්ලම පහුකරලා ටික දුරක් ගිහම….” ඔහු අප විමසා සිටි ගමනාන්තය දක්වා සිටියේ එලෙසිනි.
“මොකක්ද මනමාලිගෙ පල්ලම කියන්නේ?”
විමසූ කාරිය පසෙක තිබිය දී මම ඔහුගෙන් අසා සිටියෙමි.
“ඔතන මහපාරෙ මිනිස්සු බිලිගන්න තැනකට. අවුරුද්දකට පාරක් අඩුම ගාණෙ කවුරුහරි බිලිවෙනවාම තමයි. සමහර අවුරුදු වල දෙතුන් දෙනෙක් බිළිවෙන අවස්ථාත් තියෙනවා.” හෙතෙම කීය.
“ඉතිං මොකද ඔතනට මනමාලිගෙ පල්ලම කියන්නේ?”
“දැන් කාලෙකට ඉස්සර කසාද බැඳලා යන මනමාලියෙක් ඔය පල්ලමේ දී වාහනේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා. ඊට පස්සේ දිගින් දිගටම ඔතන ඇක්සිඩන්ට් වෙනවා. රෑ කාලෙ තමයි වැඩිපුරම ඇක්සිඩන්ට් වෙන්නේ. සමහරු කියන්නේ ඒ මැරිච්ච මනමාලිගෙ අවතාරෙ මහ රෑ එක සැරේටම පාරට පනිනවා. එතකොට ඩ්‍රයිවර්ලට කර කියා ගන්න දෙයක් නැතිව ඇක්සිඩන්ට් වෙනවා කියලයි. එහෙම තමයි ඔතන මිනිස්සු බිලිගන්නේ” හෙතෙම කීය.
ඔහුගේ එම කීම මනඃකල්පිතයක් නොවන බව අපට එත්තු යන ලද්දේ ඉන් කිලෝමීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කිරිඳිවැල ප්‍රදේශයේ අප ගිය නිවසේ හිතවතුන්ද එම ‘මනමාලිගේ පල්ලම’ පිළිබඳව බොහෝ දේ අසා තිබූ බැවිනි.
“එකම තැනක මේ විදිහට අනතුරු සිද්ධ වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා. ඒ වගේම මිනිස්සු තැති ගන්වන දෙයක් ඔතනදී දර්ශනය වෙනවා කියන එක අපිට මුළුමනින්ම බැහැර කරන්නත් බැහැ.”
අප හිතවත් පවුලේ සමාජිකයෙක් එසේ කීය.
සාමාන්‍යයෙන් මහා මාර්ගයේ විවිධ ස්ථානයන්හි වැඩිපුර අනතුරු සිදුවීමේ සම්භාවිතාවක් ඇත. අප මෑතක දී කළ විමසුමකට අනුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමේ ද මෙබඳු අනතුරු බහුල ස්ථානයක් ඇත. වංගු ආදී කිසිවක් නොමැති හා සමතල මතුපිටකින් යුත් එම ප්‍රදේශයේ මේ දක්වා දස දෙනෙකු මරණයට පත්ව ඇති බැවින් ප්‍රවේශමෙන් රිය පදවන ලෙස ජා ඇල සිංහ සමාජය මගින් එහි නාම පුවරුවක්ද සවිකොට තිබේ.
මෙලෙස හඳුනාගත නොහැකි හේතුවක් මත එකම ස්ථානයක අනතුරු බහුලව සිදුවන විට ඒ සඳහා ගුප්ත අර්ථකතනයක් ලබා දීම ලොව පුරාම සිදුවන්නකි. එම අර්ථකතන වලින් බහුලවම අසන්නට ලැබෙන පොදු අර්ථකතනයක් ද ඇත. එනම් මනාලියක හෝ හෝ සුදු ඇඳගත් කාන්තවක හිටි හැටියේ මහා මාර්ගය ඉදිරියෙන් මතුවීම නිසා බියපත් වන රියදුරන්ට රථය පාලනය කර ගත නොමැකිව මෙම අනතුරු සිදුවන බවකි. ජා ඇල අනතුරු සම්බන්ධයෙන් ඇත්තේද එබඳුම නිදාන කථාවකි.
මෙසේ මිනිසුන් බිය ගන්වන කාන්තාව ලොව පුරා හැඳින්වෙනුයේ ‘සුදු නෝනාගේ අවතාරය’ (White Lady Ghost) යනුවෙනි.එහෙත් ඇය අත්භූත කාන්තාවක නොවේ.
බොහෝ වේලාවක් අඛණ්ඩව ඉදිරිය බලා ගනිමින් රිය ධාවනය කරන විට රියදුරන් තුළ ස්වයං මෝහන තත්ත්වයක් ඇති විය හැකි අතර මෙය හැඳින්වෙනුයේ ‘මහාමාර්ග මෝහනය’ (Highway Hypnosis) යන නමිනි. මෙහිදී රියදුරා අර්ධ නිද්‍රාවකට පත් වන අතර රිය ධාවනයට අවශ්‍ය සංවේදීතාව අඛණ්ඩව පැවැතියද ඔහුගේ යටි සිතින් පැන නගින ‘මායා කාරී’ සිතුවිලිද තමන්ගේ නෙත ගැටෙන දර්ශන මෙන් හැඟීයා හැක. අඛණ්ඩව බොහෝ වේලාවක් රිය පදවන රියදුරන්ට තමන් පැමිණි ගමන් මගේ ඇතැම් අවස්ථා මතකයෙන් ගිලිහී යන්නේ මේ මහාමාර්ග මෝහනය නිසාද විය හැක.
මහාමාර්ග වල ඇති සුදු කඩ ඉරි දෙස බලාත්වනම රිය පදවන විට දෙනෙත නිදි බර වීම නිසා ද මෙවැනි අර්ධ නිද්‍රාවත් සමඟ ස්වයං මෝහන තත්ත්වයක් හටගත හැක. එය හැඳින්වෙනුයේ සුදු ඉරි උණ (White Line Fever) යනුවෙනි.
එහෙත් මේ මනමාලිගේ පල්ලමේ අනතුරු සිදුවීම සම්බන්ධයෙන් බලපවත්වන වෙනත් විද්‍යාත්මක හේතුවක් තිබේ දැයි අපි මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉන්ජිනේරු (අවිස්සාවේල්ල) ඊ.ඒ.එන්.එස්. එදිරිසිංහ මහතාගෙන් අසා සිටියෙමු. එහිදී ඔහු ප්‍රකාශ කොට සිටියේ තමන්ගේ උපන්ගම සමීපයේ පිහිටි එම ස්ථානයේ සිදුවන අනතුරු සඳහා අධික වේගය සහ රියදුරාට නින්දයාම බොහෝ විට ඉවහල් විය හැකි බවයි.
“ඔය මනමාලිගෙ පල්ලම කියන තැන ඌරාපොළ පැත්තෙ ඉඳලා එනකොට අංශක 100 ක විතර වමට වංගුවක් තියෙනවා; ඒ එක්කම පල්ලමක්. අධික වේගයකින් හෝ නිදිමතින් රිය ධාවනය කරන විට ඒ වංගුව හරි හැටි දර්ශනය වෙන්නේ නැහැ. ඒ නිසා වාහන ඒ වංගුවේ ඇති බැම්මේ ගැටීම ස්වභාවිකයි. සාමාන්‍යයෙන් මේ වගේ වංගුවල මතුපිට කිසියම් ආනතියකින් (Superelevation) සකස්කොට තිබෙනවා. එය රියදුරාට පහසුවෙන් රථය හසුරුවා ගැනීම සඳහා. නමුත් අධික වේගයකින් පැමිණීමේ දී හෝ රියදුරාට නින්ද යාමක දී ඒ වාසිය බුක්ති විඳීමට රියදුරාට අවස්ථාව ලැබෙන්නේ නැහැ.
නමුත් එක්තරා ස්ථානයක දිගින් දිගටම රිය අනතුරු වලින් මිනිසුන් මිය යන විට ඒ සඳහා ගුප්ත පුරාවෘත්තයක් මතුකරගන්නා අතර ඒ අනතුරු ‘බිළිගැනීම්’ වශයෙන් හඳුන්වන එක අපේ රටේ සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. නමුත් එම ස්ථානයට නොදුරින් වංගුවක් පෙන්නුම් කරන මාර්ග සංඥා අනුව රථයේ වේගය පාලනය කර ගත හොත් කිසිවිටකත් අනතුරක් සිදුවන්නේ නැහැ. ඒ වගේම තමන් අතින් සිදුවන වැරදි අඩුපාඩු නිසා සිදුවන අනතුරු මිය ගිය කාන්තාවකට බැර කිරීමකට සිදුවන්නෙත් නැහැ.” හෙතෙම කීය.
(තිලක් සේනාසිංහ දිනමිණ පුවත්පත )
No comments:
Post a Comment